කොහොඹ

කොහොඹ යනු ආයුර්වේදයට අනුව හිසකෙස් සඳහ විශේෂ වූ ඖෂධයකි. එහි ඇති සිසිලන ගුණය සම හා හිසකෙස්වල සිසිල් බව ආරක්ෂා කර හිස් කබල පෝෂණය කිරීමට උපකාරී වන මාහැඟි ඔසුවකි.

ආයුර්වේදයේ මෙන්ම රූපලාවණ්‍ය සත්කාර වලදීද බහුලවම යොදාගන්නා ශාකසාර අමුද්‍රව්‍යයක් ලෙස කොහොඹ සැළකිය හැක.ඉන්දියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාවේ බහුලවම දැකිය හැකි ශාකයක් ලෙස සළකන කොහොඹ බොහෝ නිවෙස්වල ගෙවත්තේ ඇති ශාකයකි.

කොහොඹ කොල මෙන්ම කොහොඹ ගසේ ගෙඩි ද විවිධ සත්කාර සඳහා යොදා ගනී. කොහොඹ ශාකයේ සියලුම කොටස් වල ඖෂධීය වටිනාකමක් ඇති බව ආයුර්වේදයේ සඳහන් වේ.

කොහොඹ කොළ වල  විෂබීජ නැසීමේ ගුණයක් පවතින බව ඈත අතීතයේ සිටම අපගේ මුතුන් මිත්තන් පවා විශ්වාස කළ දෙයකි. එම විශ්වාසය නිසාවෙන්ම පැපොල වැනි දෙයියන්ගේ ලෙඩ යැයි පැරැන්නන් විශ්වාස කළ බෝවන රෝග ඇති වූ විට එම රෝගියා සිටින නිවාස ඉදිරිපිට කොහොඹ කොළ අත්තක් එල්ලා තැබීම පුරුද්දක් විය.

එමෙන්ම එවන් රෝග සෑදුණ විට රෝගියාව කොහොඹ කොළ ඇතිරූ ඇඳක් මත සිටීමට සැලසුවේ කොහොඹ කොළ වල පවතින මෙම විෂබීජ නැසීමේ සහ සම සිසිල් කිරීමේ ගුණයන් නිසාවෙනි.ඉන්දියානු කාන්තාවන් මෙන්ම ලාංකික කතුන්ද සමේ ඇතිවන විවිධ ආසාත්මිකතා මැඩ පවත්වාලීමට සහ හිසට සිසිලස ගෙනදීම යන කරුණු මූලික කරගෙන කොහොඹ වතුරෙන් ස්නානය කරයි.

එමෙන්ම ආයුර්වේදයේ කියවෙන පරිදි කුරුළෑ සහිත මෙන්ම තෙල් සහිත සමක් ඇති පුද්ගලයන් සඳහාද කොහොඹ සාරය සපිරි රූපලාවණ්‍ය නිෂ්පාදන වඩාත් සුදුසු වේ. කොහොඹ දළු වල ඇති සාරය බැක්ටිරීයා ආසාදන නිසා ඇතිවන කුරුළෑ ලප කැළැල් දුරලා සොඳුරු සමක් ලබා දෙයි.

එමෙන්ම මූලික වශයෙන් අකලට හිස කෙස් වැටීම, හිස්සොරි සඳහා කොහොඹ කොළ තැම්බූ වතුරෙන් හිස සේදීම ඈත අතීතයේ සිට අප පුරුදු පුහුණු කරන ලද දෙයකි. කොහොඹ කොළ තැම්බූ වතුරෙන් හිස සේදීම හිස්සොරි නැතිකිරීම සඳහා උපකාර වන පැරණි ආයුර්වේද ග්‍රන්ථ වල පවා සඳහන් වේ.

මේ අනුව ගත් කළ කොහොඹ ආයුර්වේදයේ සළකන්නේ කොළ, මල්, ඇට, පොතු, මුල් යනාදී ශාකයේ සියලුම කොටස් සම නිරෝගීකර රුව වැඩුමට භාවිතා කරන සහ හිස්සොරි ඇතිවීම වළක්වා නිරෝගී කෙස් කළඹක් ලබා දෙන ශාකසාර අමුද්‍රව්‍යයක් ලෙසය. සීතල ගුණයෙන් හෙබි කොහොඹ විෂබීජ නැසීමට පරිසරයෙන් ලැබුණු වටිනා දායාදයකි.