කීකිරිඳිය

කීකිරිඳිය යනු ආයුර්වේදයට අනුව හිසකෙස් හැලීයාම සහ සමෙහි ඇතිවන ආබාධ සඳහා බහුලව යොදාගන්නා ඔසුවකි.

තෙතමනය සහිත ස්ථානවල බහුලව වැඩෙන කීකිරිඳිය ශාකය ආයුර්වේදයේ දී බොහෝ ඖෂධ සෑදීම සඳහා යොදා ගන්නා ඔසු පැළෑටියකි. හිසකෙස් වර්ධනය කිරීමට සහ අකලට හිසකෙස් ගැළවී යාම වැළැක්වීම සඳහා මෙම කීකිරිඳිය ශාකය ආයුර්වේදයේදී යොදා ගනී.

හිස කෙස් වර්ධනය සහ හිස කෙස් හැළීයාම වැළැක්වීම සඳහා ගුණදායක සංඝටක අඩංගු බැවින් කීකිරිඳිය හිස කෙස් සත්කාර සඳහා යොදා ගන්න අතරම පීනස, ඇදුම, අම්ලපිත්ත රෝග, අක්ෂි රෝග සඳහා සමනය කිරීම සඳහාද කීකිරිඳිය බහුලව ආයුර්වේදයේ යොදා ගනී.

එමෙන්ම එවන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කිරීමේදී සම්පූර්ණ කීකිරිඳිය ශාකයම භාවිතා කිරීමද විශේෂත්වයකි.

කීකිරිඳිය භාවිතා කරමින් සාදා ගන්නා ආයුර්වේද ඖෂධ අතර බ්‍රින්ගරාජ හෙවත් භෘංගරාජ තෛලය සහ චූර්ණය විශේෂ තැනක් අත්පත් කර ගනී.

අමු කීකිරිඳිය යුෂ හිසකෙස්වල ආලේප කිරීමෙන් අකල හිසකෙස් ගැළවී යාම අවම කර ගත හැකි බවට ආයුර්වේදයේ සඳහන් වේ. එමෙන්ම කීකිරිඳිය ස්වරස ලෙස හඳුන්වන මෙම අමු කීකිරිඳිය යුෂ හිසෙහි ගැල්වීමෙන් හිසෙහි වේදනාවන් සමනය කර ගත හැකි බවට පුරාණ ආයුර්වේද  ග්‍රන්ථ වල සඳහන් කර ඇත.

කීකිරිඳිය චූර්ණය උක් හකුරු සමග මිශ්‍ර කර ආහාරයට ගැනීම අම්ලපිත්ත රෝගය සමනය කිරීමට මෙන්ම, කීකිරිඳිය බටු දළු යුෂ මීපැණි සමග මුසු කොට ආහාරයට ගැනීම සෙම සහ කැස්ස සමනය කිරීමට උපයෝගී කර ගත හැක.

ඈත අතීතයේ ලාංකීය ගැමි කන්තාවන් නිල් වන් දිගු සාරවත් කෙස් කළඹක් ලබා ගැනීම සඳහා ස්නානය කිරීමට පෙර කීකිරිඳිය යුෂ හිස ගල්වා ඇති බව මතයකි.

කාළවර්ණ කීකිරිඳිය යුෂ කාළවර්ණ, සාරවත්, දිගු එමෙන්ම නිරෝගී කෙස් කළඹක් ලබා දෙන බව මෙයින් පැහැදිළි වේ.

ස්වාභාවික ශාකසාර අතරින් හිසකෙස් වැටීම, පැසීම වළක්වා,නිරෝගී කෙස් කළඹක් ලබා දීම සඳහා වඩාත්ම සුදුසු ශාකසාරයක් ලෙස කීකිරිඳිය හඳුන්වනු ලැබේ.

කීකිරිඳිය ශාකය පිරිසිඳු කර මඳ පවනේ වියළා, කුඩු කරගෙන, ඉන් මේස හැඳි දහයක් පමණ පොල්තෙල් භාගයක් සමග මිශ්‍ර කර ලිපතබා, වතුර ගතිය සිඳෙන්නට හැර,ලිපෙන් බා නිවාගෙන සාදා ගන්නා ලබන කීකිරිඳිය තෛලය හෙවත් බ්‍රින්ගරාජ තෛලය හිසකෙස් හැලීයාම අවම කර, නිරෝගී දිගු, ඝණැති කෙස් කළඹක් ඔබට ලබා දෙන බව පුරාණ ආයුර්වේද ග්‍රන්ථ වල සඳහන්‍ ය.