කෝමාරිකා

කෝමාරිකා යනු අතීතයේ සිටම සම පෝෂණය කිරීමට යොදාගන්නා මාහැඟි ඔසුවකි. එහි ඇති සිසිල්කාරක ගුණය සමේ වියළි බව දුරළා තෙතමනය රඳවා තබා ගනිමින් සම සොඳුරු කරයි.

ඖෂධීය ශාකයක් ලෙස ඈත අතීතයේ සිට සළකන කෝමාරිකා වල විටමින් A,C,E,B1,B2,B12, ෆෝලික් අම්ලය, යකඩ, පොටෑසියම්, මැග්නීසියම්, සෝඩියම් ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වේ.

කෝමාරිකා ශාකයෙන් 90%ක්ම අඩංගු වන්නේ ජලයයි. බොහෝ රෝගාබාධ රැසක් සමනය කිරීම සඳහා සරිලන ශාකසාර ඔසුව ලෙස සලකන කෝමාරිකා රූපලාවණ්‍ය සත්කාර වලදී බහුලව භාවිතා කරයි.

කෝමාරිකා වල අඩංගු වන ගුණ රැසකි. එනම්, මල බද්ධය වැළැක්වීම, අම්ල පිත්ත රෝගය සුව කිරීම, සමේ තෙතමනය රැක දීම, ආහාර ජිර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූම කරයි, සම පැහැපත් කරයි, හොසකෙස් නිරෝගී කර ප්‍රතිශක්තිය වර්ධනය කිරීම කෝමාරිකා වලින් ලබාගත හැකි ප්‍රතිලාභ කිහිපයකි.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දී කෝමාරිකා සළකන්නේ මහෞෂධයක් ලෙසය.  ඈත අතීතයේ පටන් කාන්තාවන් තමන්ගේ රූ සපුව සුන්දරව තබා ගැනීම උදෙසා කෝමාරිකා භාවිතා කරන ලද බව පුරාණ පොත පතෙහි සඳහන් වේ.

කෝමාරිකා විසින් සමට ලබා දෙන පෝෂණය සහ රැකවරණය ඉමහත්‍ ය. කෝමාරිකා මගින් සමේ තෙතමනය රැක දෙන අතර සම පැහැපත් කර කුරුළෑ නිසා ඇති වුණ ලප කැළැල් ආදිය ඉවත් කරයි.

එමෙන්ම වර්ථමානයේදී බොහෝ රූපලාවණ්‍ය සත්කාර වලදී සම පිරිසිඳු කිරීමට, සම ස්ක්‍රබ් කිරීමට සහ ටෝනර් ආදිය සඳහා කෝමාරිකා යොදා ගැනීමට හේතුව වන්නේ එහි ඇති සම අවපැහැවීම් දුරලීමේ සහ සිසිල්කාරක ගුණයයි.

සමට සත්කාර කිරීම සඳහා පමණක් නොව හිස්සොරි, හිසේ ඇතිවන තුවාළ, හිසකෙස් ශක්තිමත් කිරීමට මෙන්ම හිස කෙස් වර්ධනය කිරීම සඳහාද කෝමාරිකා ප්‍රත්‍යක්ෂ ඔසුවකි.

එමෙන්ම කෑම අරුචිය, අර්ශස්, බඩ පුරවා දැමීම, මළ බද්ධය වැනි රෝග මැඩ පවත්වාලීම සඳහ ද කෝමාරිකා මහඟු ඔසුවක් බව ආයුර්වේදයේ සඳහන් වේ.

කෝමාරිකා වල අඩංගු වන ඖෂධීය ගුණයන් නිසා සම වියපත් වීම පමා කළ හැකි අතර රැලි රහිත, ලිහිල් එමෙන්ම දීප්තිමත් සමක් ලබා දෙයි.  සම මතුපිට බාහිරව සිදුවන තුවාළ සමනය කිරීම් සඳහා කෝමාරිකා ආලේප කිරීම ඈත අතීතයේ පටන්ම අපගේ ජන සමාජය තුළ දක්නට ලැබෙන සත්කාරයකි.

රන්වන් පැහැ සමක ලබා ගැනීම සඳහා කෝමාරිකා යුෂ එළකිරි සමග මුසු කොට ආලේප කිරීම සහ කැළැල් මැකීම සඳහා කෝමාරිකා යුෂ ලප කැළැල් මත ආලේප කිරීම සුදුසු ය.