කුංකුම

මිළෙන් ඉතාම අධික අමුද්‍රව්‍යයක් ලෙස සලකන කුංකුම හෙවත් Saffron ඈත අතීතයේ සිට අද දක්වාම කාන්තාවන්ගේ රුව සුරැකීමට සහ සොඳුරු දීප්තිමත් සුන්දරත්වයක් රුවට එක්කිරීම සඳහා භාවිතා කරන ලද ශාකසාර අමුද්‍රව්‍යයකි.

සම සහ හිසකෙස්වල සුන්දරත්වය වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ මෙන්ම බොහෝ සෞඛ්‍යය ප්‍රතිලාභ ලබා ගත හැකි ශාකසාර අමුද්‍රව්‍යයක් ලෙස කුංකුම හෙවත් Saffron ප්‍රචලිත වේ.

දැඩි හිරු එළිය නිසා සිදුවන පිළිස්සීම, අවපැහැ ගැන්වීම, දද, කැසීම් වැනි ආසාදන, රතුවීම වැනි සමේ රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස කුංකුම ආයුර්වේද ග්‍රන්ථ වල සඳහන් වේ.

කුංකුම හෙවත් Saffron යනු ආයුර්වේදයට  අනුව සමේ පැහැපත්බාවය ආරක්ෂා කිරීමට, පටක සැකසීමට හා ශරීරයෙන් විෂ ඉවත් කිරීම් වලදී උපකාර වන ඖෂධයකි.

කුංකුම සියවස් ගණනාවක සිට ප්‍රධාන කුළුබඩුවක්, සුවඳ නිපදවන අමුද්‍රව්‍යයක් ලෙස ලොව පුරා ප්‍රචලිතය.  කුංකුම සලකන්නේ බර අනුව ලොව මිල අධිකම අමුද්‍රව්‍යයක් ලෙසය.

ඈත අතීතයේ සිට වර්ථමාන කාළය දක්වා කුංකුම වල ඉතිහාසය සළකා බැලීමේදී  ආහාර පාන, ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සෑදීම යන විවිධ අංග සඳහා කුංකුම යොදා ගෙන තිබේ.

පුරාණ ආයුර්වේද ග්‍රන්ථ වල සඳහන් පරිදි කුංකුම ඖෂධීය පැළෑටියක් ලෙස භාවිතා කර තිබේ. මධ්‍ය කාලීන යුරෝපයේදී කුංකුම ශ්වසන ආබාධ, කැස්ස, උණ වැනි රෝග සුවකිරීම සඳහා යොදා ගෙන ඇති අතර එයට අමතරව නින්ද නොයෑම, හදවත් රෝග, රක්තවාතය වැනි රෝගාබාධ සුවකිරීම සඳහා යොදාගත් මහඟු ඔසුවක් ලෙස භාවිතා කර තිබේ.

ඈත අතීතයේ රාජ කුමාරිකාවන් තමන්ගේ රූප ස්වභාවය වැඩි දියුණු කිරීම සහ සමට දිදුලන සුන්දරත්වයක් ලබා ගැනීම සඳහා කුංකුම භාවිතා කර තිබේ.

කුංකුම  හෙවත් Saffron පානයක් ලෙස මෙන්ම ආලේපනයක් ලෙස ගැනීම මගින් සිරුරට සහ සමට දීප්තිමත් සුන්දරත්වයක් එක් කරගැනීමේ හැකියාවක් ඇත.

පානයක් ලෙස භාවිතා කිරීමේදී උණුසුම් කිරි හෝ ජලය කෝප්පයකට කුංකුම රේණු 4-5 මුසු කොට පානය කිරීමෙන් මාසයක් පමණ කාළයකදී සමේ දීප්තිමත් සුන්දර වෙනසක් දැක ගත හැකි බව ප්‍රචලිත මතයකි.

කුංකුම හෙවත් Saffron මුහුණට ආලේපනයක් ලෙස භාවිතා කරන විට යෝගට් කෝප්ප එකකට කුංකුම රේණු කිහිපයක් එකතු කර ආලේප කිරීමෙන් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකි බව පොත පතෙහි සඳහන් වේ. මෙම් ආලේපන සත්කාරය සිදු කිරීම මගින් සමට දීප්තිමත් සුන්දරත්වයක් මෙන්ම සමේ මලානික ස්වභාවය අඩු කිරීමට හැකියාව ලැබේ.